ශ්‍රී ලංකාවත් සමග ක්‍රිකට් පිටියට පැමිණි “බිලී බවුඩ්න්” මහතා…

ශ්‍රී ලංකාවත් සමග ක්‍රිකට් පිටියට පැමිණි “බිලී බවුඩ්න්” මහතා…අමුතුම ආකාරයේ හස්ත සංඥා හේතුවෙන් ලෝකයේ ක්‍රිකට් ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විනිසුරුවරයෙකු වූ නවසීලන්ත ජාතික බිලී බවුඩ්න්..පිතිකරුවාගේ හයේ හතරේ පහරත්, පන්දු යවන්නා කඩුලු දවා ගැනීමත් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීහු අමන්දානන්දයට පත්වන සිදුවීම්ය. ඔවුහු පිටියට පැමිණෙන්නේ පිතිකරුගේ හා පන්දු යවන්නාගේ මේ දස්කම් දැක ප්‍රීතිමත් වන්නටය. පිතිකරු සහ පන්දු යවන්නා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතර සදාකාලික වීරයෝ වෙති.එහෙත්, නවසීලන්තයේ බිලී බවුඩ්න් නම් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීහු අතර වීරයෙක් වූයේ පිත්තෙන් හෝ පන්දුවෙන් නොවේ. ඔහු වීරයෙක් වූයේ ක්‍රිකට් විනිසුරුවරයකු ලෙසටය. රසවත් කතාවක් ලෙස පෙනුණ ද ඇත්ත වශයෙන්ම එය දුක්බර කතාවකි.ක්‍රිකට් විනිසුරු සාමාන්‍යයෙන් පිතිකරුවකුගේ දැවීයාම සටහන් කරනු ලබන්නේ දබරැගිල්ල දිගුකොට ඉහළට ඔසවමිනි. හයේ පහරට දෑත් ඉහළට ඔසවමින්ද හතරේ පහරට අතක් දිගු කොට දෙපසට වනමින්ද ක්‍රිකට් පොතේ හැටියට විනිසුරුවරු සංඥා නිකුත් කරනු ලබති.එහෙත් බිලී බවුඩ්න්ට ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ඉරියව්ය. ඔහු පිතිකරුගේ දැවීයාම සටහන් කරනු ලබන්නේ ඔහුගේ වක්වූ දබරැගිල්ල(crooked finger of doom)ඉහළට ඔසවමින්ය . පිතිකරු හයේ පහරක් එල්ල කළ විට සංඥා කරනු ලබන්නේ ඇඟිලි වක්වූ දෑත් දෙකම (double crooked finger six-phase hop) ඉහළට ඔසවමිනි. එසේ කරනු ලබන්නේ ද එක්වරම නොවේ. ඒ සඳහා ඔහු තරමක කාලයක් ගත කරයි.තවද ඔහුටම ආවේණික විලාශයක් ලෙස, ක්‍රිඩකයකු ගසන හතරේ පහරක් සලකණු කරන්නේ පිතිකරුවකු ස්වීප් පහරකට යන ආකාරය (crumb-sweeping) ලෙසටය.ක්‍රමයෙන් වක්වූ ඇඟිලි සහිත දෑත් ඉහළට ඔසවන ගමන් ඔහුගේ සිරුරද දෙපාද ක්‍රියාත්මක වන්නට පටන් ගනියි. ක්‍රීඩා ලෝලීහු පිතිකරු හතරේ හෝ හයේ පහරක් එල්ල කරන තුරු කල් මරන්නේ බවුඩ්න් එය ලකුණු කිරීමේ ඉරියව්වෙන් කුල්මත් වන්නටය. හතරේ පහරටත් අතිරේක ලකුණු ලබා ගන්නා අවස්ථාවේදීත් තමාටම ආවේණික වූ ක්‍රම මගින් බවුඩ්න් ඒවා සටහන් කරනු ලබයි. ඒවා ක්‍රිකට් විනිසුරුවන්ගේ නීති පොතේ නැති ඉරියව්ය. ක්‍රීඩා ලෝලීහු අතර බවුඩ්න් ජනප්‍රිය චරිතයක් වන්නට පටන් ගත්තේ ඒ අසාමාන්‍ය ඉරියව් හේතුවෙනි.(The Dancing Umpire) නර්තනයේ යෙදෙන ක්‍රිකට් විනිසුරු ලෙස බවුඩන් ක්‍රීඩා ලෝලීහු අතර ජනප්‍රියත්වයට පත්වූවද අසාමාන්‍ය ඉරියව් පසුපස ඇත්තේ ඉතා වේදනාබර කතාවකි.බ්රෙන්ට් ෆ්රේසර් “බිලී” බොඩ්ඩන් (උපත 1963 අප්රියෙල් 11 වන දින) නවසීලන්තයයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේ. ඔහු රුම්වෝඩයිඩ් ආතරයිටිස් වලින් පීඩා විඳින තෙක්ම ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළේය. 21 වැනි වියේදී ආතරයිටීස් රෝගයට ගොදුරු වන විට බවුඩ්න් අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහුගේ සිහිනය වූයේ කෙදිනක හෝ නවසීලන්තය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග වැදීමය.1986 වසර වන විට බවුඩන් නියෝජනය කළ ඕක්ලන්ඩ් ප්‍රදේශයේ ඔහු තරම් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු තවත් නොවීය. පිට දඟ පන්දු යවන්නෙකු ලෙසත් මැද පෙළ පිතිකරුවකු ලෙසත් ඕක්ලන්ඩ් ප්‍රාන්ත පිලට බවුඩ්න් කළ සේවාව අති විශිෂ්ඨ එකක් විය.එහෙත් ආතරයිටීස් රෝගය ඔහුගේ ක්‍රිකට් දිවිය අඳුරට තල්ලු කළේය. ශාරීරිකව හා මානසිකව ඇද වැටුණු බවුඩ්න්ගේ ආත්ම ශක්තිය වර්ධනය වූයේ මයිකල් ජැක්සන්ගේ මෑන් ඉන් ද මිරර් (man in the mirror) ගීතය ඇසීමෙනි. බවුඩන්ගේ ජීවිතය වෙනස් කරනු ලැබුවේ එම ගීත බව ඔහු පවසයි.‘කැඩපතින් ඔබ දෙස බලමින් යම් වෙනස්වීමකට ඔබ සූදානම්ද ? මම ඔබට අභියෝග කරනවා හැකිනම් වෙනස් වෙලා පෙන්වන්න. ඔබ ඊට සූදානම්ද ?’ එම ගීතයේ මුලික අදහස ඔහු සිය අනාගතය සාර්ථක කර ගැනීමට උපයෝගී කර ගත්තේ ඉතා විස්මිත ලෙසටය. ක්‍රීඩකයෙක් ලෙස නොව විනිසුරුවරයකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජය ගැනීමට අවසානයේ ඔහුට හැකි විය.1995 වසරේ හැමිල්ටන් නුවර පැවැති ශ්‍රී ලංකා නවසීලන්ත ජාත්යන්තර එක්දින තරගයෙන් බවුඩ්න් ක්‍රිකට් විනිසුරුවරයකු ලෙස ජගත් ක්‍රිකට් පිටියට පා තැබුවේය. අද ඔහු ජගත් ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ විශිෂ්ඨ සාමාජිකයෙකි.2016 පෙබරවාරි 6 දින බොව්ඩන්ගේ සිය 200 වැනි එක් දින ජාත්යන්තර තරගය නවසීලන්තය සහ ඕස්ට්රේලියාව අතර වෙලිංග්ටන් ක්රීඩාංගනයේදී පැවැත්වුණි.2007 ජනවාරියේ හැමිල්ටන් හි පැවැති පැවති නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගයත් සමග,තරඟ 100 කට විනිශ්චය දුන් ලොව ලාබාලම විනිශ්චයකරු ලෙස බෝඩ්ඩන් පත් විය.නමුත් සයිමන් ටුෆෙල් විසින් දින කිහිපයකට පසුව එම වාර්තාව ඔහු සතු කරගන්නා ලදී..2003 වසරේදී ජාත්යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරු මඩුල්ලට ඇතුළත් වීමෙන් ඔහු ටෙස්ට් තරග 84 කදී, එක්දින තරග 200 ක් සහ 24 ක් වූ විස්සයි 20 තරග විනිසුරුවෙකි.2000 නවසීලන්තය සහා ඕස්ට්‍රේලියාවේ අතර පැවති ටෙස්ට් තරඟය සමගින් පළමු වරට ටෙස්ට් තරඟයක් විනිශ්චය කිරීමේ භාග්‍ය උදාකර ගත් අතර 2003 සහා 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟ වල හතරවන විනිසුරු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවද ඔහුට හිමි විය. ICC Elite Panel of umpires මඩුල්ලෙන් 2013 ජුනි මාසයේ දී වාර්ෂික සමාලෝචනයකින් පසුව ඔහු ඉවත් කරන ලද නමුත් පසුගිය වසර දහය තුළදී ඔහු සිය විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ප්රසිද්ධියේ ඔහුව අගය කරන ලදී. 2014 ජුලි 1 වැනි දින නැවත Elite panel වූ විනිසුරු මඩුල්ලට බොවුඩන්, ටෝනි හිල් විනිසුරු වෙනුවට ආදේශකයක් ලෙස නැවත පැමිණියේය.නමුත් නැවත වරක් ඔහු වසරකට පසුව 2015 දී යළිත් ඉවත් කෙරුනි.එහෙත් ආරම්භයේදී බවුඩ්න්ගේ ඉරියව් දැඩි විවේචනයට ලක් විය. ක්‍රීඩා මාධ්‍ය මෙන්ම ක්‍රීඩකයන් ද ඔහු දැඩි ලෙස හෙලා දුටුවේය. 2005 වසරේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ සංගමයෙන් කරනු ලැබූ සමීක්ෂණයකට අනුව ලොව වඩාත්ම නරකම (worst umpire) ක්‍රිකට් විනිසුරු වූයේ බිලී බවුඩ්න්ය.බවුඩ්න්ට මේ සියල්ල ඉතා බැරෑරුම් දේවල්ය. එහෙත් ඔහු සැලුනේ නැත. එදා සිට ඔහුට මාධ්‍ය අරහංය. ඔහු තමාට මාධ්‍ය තහනමක් පනවා ගත්තේය.‘මාධ්‍ය උත්සාහ කරන්නේ පුවත් මවන්න විතරයි. ඉන් මගේ ජීවිතයට වැදගත්කමක්, මගේ හැකියාවේ වර්ධනයක් ඇති වන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ මට මාධ්‍ය අවශ්‍ය නැහැ’ බවුඩන් පවසයි.ඇත්ත වශයෙන්ම බිලී බවුඩ්න් යනු ආතරයිටීස් රෝගියෙකි. ඔහුගේ ඇගිලි විරූපී වී ඇත්තේ එබැවිනි. පිතිකරු හයේ පහරක් එල්ල කරනු ලැබූ විට දෑත් ඉහළට එසවීම තරම් වේදනාබර හැඟීමක් ඔහුට තවත් දැනෙන්නේ නැත. එවැනි විටෙක බවුඩන්ගේ මුලු සිරුරම වේදනාවට පත්වෙයි. ඔහු එකවර දෑත් ඉහළට ඔසවන්නේ නැතිව ක්‍රමයෙන් එය කරනු ලබන්නේ වේදනාව විද දරා ගැනීමටය. එවැනි මොහොතක ඔහුගේ සිරුරද දෙපාද වේදනාවෙන් මිරිකෙයි. එතැන ඇති නර්තනයක්නැත. බවුඩ්න් සිය වේදනාව විඳ දරා ගැනීමට ප්‍රබල ආයාසයක් ගන්නා ආකාරය නර්තයක ස්වභාවයෙන් දිස්වීමෙන් ක්‍රීඩා ලෝලීහු ඔල්වරසන් දෙන්නට පටන් ගනිති.බවුඩ්න් මුලින්ම විවාහ වූයේ වැන්ඩා කේ ස්මිත් සමගින්ය. ඔහුගේ දියණිය බෲක් දැන් 19 හැවිරිදි වියේ පසු වන්නීය. පුතු ෆ්‍රේසර් 16 වියේ පසුවන අතර පියා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියි. සිය දරුවන් දෙදෙනා සමග බවුඩන් නව විවාහ ජීවිතයකට ඇතුළත් වූයේ 2007 වසරේදීය. ඔහුගේ නව බිරිය වන ජෙනිෆර්,පෝෂ්‍යදායි ආහාර විද්‍යාව පිළිබඳ උපාධි ධාරිණියක වන අතර සැමියාගේ උපදේශකවරිය ලෙසද කටයුතු කරනු ලබන්නීය.සිය වෘත්තීය ජීවිතයත් සෞඛ්‍ය තත්ත්වයත් රැක ගැනීමට බවුඩ්න් සතියට තුන් වතාවක් මිනිත්තු 90 බැගින් ව්‍යායාම් මධ්‍යස්ථානයේ ගත කරයි. එය ඔහුගේ වෘත්තිමය ජීවිතය පවත්වාගෙන යාමට මහෝපකාරී වෙයි.දැනට 58 වැනි වියේ පසු වන බිලී බවුඩ්න් පවසන්නේ ‘මම තටු බිඳුණු මුහුදු ලිහිණියෙක් වාගෙයි. මීට වඩා දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්නෙපා’කියාය.හයේ පහර මට වේදනාවක් ගෙන දෙන බව බිලී බවුඩ්න් පවසයි.ක්‍රීඩා බලධාරීහු, ක්‍රීඩකයෝ, මාධ්‍ය සහ ආදරණීය ක්‍රීඩා ලෝලීන්ටත් තම ඉරියව් සම්බන්ධයෙන් බවුඩ්න් දෙන පිළිතුර එය වන අතර නමුත් ක්‍රීඩා ලෝලීන් ලෙස ඔහුගේ ඉදිරි අනාගතය සෞඛ්‍ය සම්පන්න පැහැබර අනාගතයක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *